Covid 19 වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ආරක්‍ෂා කල හැක්කේ කෙසේද?
කිසිවෙකුත් අපේක්ෂා නොකළ මොහොතක සමස්ත ලෝකයටම විශාල බලපෑමක් එල්ල කරමින් පැමිණි කොරෝනා වසංගතය හෙවත් Covid 19 වසංගතය හේතුවෙන් සමස්ත ලෝකයේම ජන ජීවිතය අඩපණ වී ඇත යන්න අතිශයෝක්තියක් නොවේ. සියලුම රජයන් පාහේ සිය රටවැසියන්ගේ සුබ සිද්ධිය උදෙසා විවිධාකාර වූ ක්‍රියාමාර්ගයන් වලට යොමුවී ඇත. බොහෝ රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතන වල වැඩ කටයුතු තවමත් 100% යථා තත්ත්වයට පත්වී නොමැත. නිෂ්පාදන කර්මාන්ත, අපනයන කර්මාන්ත මෙන්ම ස්වයං රැකියා ආශ්‍රිත කටයුතු පවා මේ මොහොතේදී සිය දෛනික ක්‍රියාවලීන් අතරමග නතරකොට හිඳින මෙවැනි වකවානුවක සාමාන්‍ය ජනතාවට මතුපිටින් නොපෙනුනද රටක ආර්ථික තත්වයට දැඩි ලෙස බලපෑමක් එල්ල වී ඇති බව කිව යුතුය. Covid 19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම පිළිබඳව විමසීමක් කිරීම ඔබ අප සැමටම යෝග්‍ය වනු ඇත.
Covid 19 වසංගතයේ විනාශකාරී බලපෑමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය බේරා ගත යුත්තේ කෙසේද? දශක ගණනාවක් තිස්සේ පවතින විසඳීමක් නොමැති ගැටළු හේතුවෙන් ලංකාවේ ආර්ථිකය කෙටිකාලීනව නොව දීර්ඝ කාලීනව ඇද වැටී තිබෙන බව අකමැත්තෙන් වුවද පිළිගැනීමට සිදුවෙයි. එම ඇදවැටීම අතරතුරේදීම මෙම Covid 19 වසංගතය පැමිණීමත් සමඟ ලංකාවේ ආර්ථික තත්ත්වය කබලෙන් ලිපට වැටුණා යැයි පැවසුවහොත් නිවැරදි වෙයි.
දරිද්‍රතාවය
රට වසා දැමීම හෙවත් Lock-down කිරීමෙන් පසු ඇතිවූ;
- සැපයුම් දාම අවහිරතා
- භාණ්ඩ හා සේවා හිඟය
- අපනයන, සංචාරක හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් හි බිඳවැටීම
- විරැකියාව
වැනි බලපෑම් දෘශ්‍යමානව සිදුවුවද ඒවායේ නොපෙනෙන පැතිකඩ නම් ජනතාවගේ දරිද්‍රතාවයේ ඉහළයාම සහ වියදම් සහ අදායම් අතර පවතින අසමානතාවය තව තවත් ඉහළ යාමයි.
නිල වාර්තා වලට අනුව 2016 වන විට ලංකාවේ දරිද්‍රතාවය මුළු ජනගහනයෙන් 4.1% ක් විය. මෙම දරිද්‍රතා නිර්ණය පදනම් වී ඇත්තේ හුදෙක්ම ‘දරිද්‍රතා රේඛාව’ (Poverty Line) එනම් ආහාර සඳහා පමණක් මසකට රු.4,166 ක් වැය කිරීමට ඇති හැකියාව යන නිර්ණායකය මත පමණි. මේ අතර රජය විසින් රටේ ජනගහනයෙන් 24% ක් (මිලියන 5.2) පමණ වන සමෘද්ධි ප්‍රතිලාභීන් හට මසකට රු .5,000 බැගින් වූ ආධාර මුදලක් ලබා දෙන ලදී. මේ අතරට එවැනි ගෙවීම් ලැබීමට සුදුසුකම් නොමැති පුද්ගලයින් සහ සුදුසු අය පවා ඇතුළත් විය හැකි වුවද, එය දළ වශයෙන් සාවද්‍ය 4.1% ට වඩා රටේ දරිද්‍රතාවයේ වඩාත් නිවැරදි සංඛ්‍යාතයේ පෙන්නුම් කිරීමක් ලෙස උපුටා දැක්විය හැකිය. මෙහිදී පැන නගින ගැටළුව වන්නේ වසංගතය නිසා ඇති වූ විනාශය හේතුවෙන් මෙම සංඛ්‍යාව පවා ඉහළට යාමේ අවධානමක් තිබේද යන්නයි. වසංගතයෙන් පසු ආර්ථිකයේ සංවර්ධනය සඳහා සැලසුම් සකස් කිරීමට පෙර මෙය වහාම විමර්ශනය කළ යුතුය.
ආර්ථිකය ගොඩනැගීමේ සැලසුම්
වසංගතයේ බලපෑමත් සමඟ ආර්ථිකය ගොඩනැගීම සැලසුම් ආකාර දෙකකට සිදුකළ යුතුය. එනම් කෙටිකාලීන සැලසුම් හා දිගු කාලීන සැලසුම් වශයෙනි. පළමුව ක්‍ෂණික විසඳුම් අවශ්‍ය ගැටළු පිළිබඳව අවධානය යොමු කල යුතුය. උදාහරණ වශයෙන්;
- වසංගත තත්ත්වය හේතුවෙන් පැන නැගුණු සෞඛ්‍ය ගැටළු
- නිෂ්පාදන සැපයුම් බිඳ වැටීම්
- ආර්ථික වශයෙන් බලපෑමට ලක්වූවන්ට ලබා දුන් මුල්‍ය සහ ණය සහන දීර්ඝ කිරීම සහ පවත්වාගෙන යාම
සඳහන් කල හැකිය. නමුත් දරිද්‍රතාවයේ සිදුවූ දැවැන්ත මෙන්ම ක්‍ෂණික වැඩිවීම කළමනාකරණය සඳහා ලෝක වසංගත තත්ත්වය පහව යාවි යන පූර්ව අපේක්‍ෂාව පෙරදැරිව දීර්ඝ කාලින සාර්ථක සැලසුමක් පිළිබඳව අවධානය යොමු කල යුතුය. දීර්ඝ කාලින සැලසුමකින් තොරව මෙම දරිද්‍රතාවය වැඩිවීමේ ගැටළුව සම්බන්යෙධන් ක්‍රියාත්මක වීම අත්තිවාරමක් නොමැතිව ගොඩනැගිල්ලක් ඉදි කරන්නාක් බඳු අසාර්ථක ක්‍රියාවකි. දීර්ඝ කාලින සැලසුමක් ගොඩනැගීම සඳහා පහත ආකාරයේ සැලසුමක් යොදා ගත හැකිය.
අස්ථායිතාවය සහ පූර්ව නිගමනයන්ට එළඹීමේ නොහැකියාව
සෘජු විදේශ ආයෝජන බහුල වශයෙන් ඉන්දියාව සහ චීනය වැනි විශාල වෙළඳපොලවල් සොයමින් ඒවායේ ආයෝජනය කිරීම සිදුකරයි. එසේ නොවුවහොත්, ඔවුන් සමාජ, දේශපාලන හා ආර්ථික (මූල්‍ය) ස්ථාවරත්වයක් ඇති රටවල් සොයනු ඇත. විශේෂයෙන්ම අවම වශයෙන් වසර 30ක පමණ කාලයක් තිස්සේ නිවැරදි පූර්ව නිගමනයන්ට එළඹීමේ හැකියාව සහිත මෙන්ම නිවැරදි සෘජු ප්‍රතිපත්තිගරුක වෙළඳ ඉතිහාසයක් සහ රට තුල ශක්තිමත් සහ නිවැරදි නීති පද්ධතියක් සහිත රටවල් වෙත සෘජු විදේශ ආයෝජකයන්ගේ අවධානය නිතැතින්ම යොමුවීම සිදුවේ. නමුත් ලංකාවේ පවතින පස් අවුරුදු දිවීමේ කලාව කෙසේවත් මෙවැනි සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමෙහි ලා සමත්කම් නොදක්වයි. නිවැරදි ආකාරයේ ප්‍රතිපත්තීන් සමාජ වෙළඳපොල ලිබරල්වාදය ලෙස හැඳින්විය හැකිය. එහි අර්ථය නම් රාජ්‍ය අංශය මගින් සමාජ සුබසාධනය සහ යටිතල පහසුකම් සම්බන්ධ වගකීම සහිතව පෞද්ගලික අංශය මගින් බලගැන්වී ඇති විවෘත වෙළඳපොළත් සමඟ බැඳුනු සමාජවාදී සහ ලිබරල්වාදී ප්‍රතිපත්තීන්ගේ සම්මිශ්‍රණයක් ලෙස හැඳින්විය හැකිය.
නව ලිබරල්වාදී ප්‍රතිපත්තීන් අතහැර මෙම නවතම සමාජ වෙළඳපොල ලිබරල්වාදී ප්‍රතිපත්තීන්ට අනුකූලව හද ගැසීමට රුසියාව, ඉන්දියාව, චීනය වැනි බලවත් නැගෙනහිර ආසියානු රටවල් සමත්වී තිබේ. ශ්‍රී ලංකාව 1956 සිට එවැනි ස්ථාවරත්වයක් සහ පුරෝකථනයක් ලබා නොතිබූ අතර ‘ෆෝචූන් 500’ ලෙස හඳුන්වන ෆෝචූන් සඟරාවේ ලැයිස්තුගත කර ඇති විශාල හා ප්‍රසිද්ධ විදේශීය ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට එයට නොහැකි වී ඇත්තේ එබැවිනි. එසේම සමාජ දේශපාලන ස්ථාවරත්වයක් නොමැතිකම නිසා රට හැර යාමට ජනතාව පෙළඹී ඇති බව ද සඳහන් කළ යුතුය. මේ නිසාම බුද්ධි ගලනය වීමේ ඉහළ ප්‍රතිශතයක් ඇති රටවල් අතරට ලංකාවද අයත්ව තිබීම කණගාටුවට කරුණකි.
අඩු ඵලදායිතාවය
Covid 19 වසංගත තත්ත්වය පාලනය කිරීම උදෙසා සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කරන ලද සමාජ දුරස්ථභාවය, රටේ කාර්යක්‍ෂමතාවය සහ ඵලදායිතාවය සැලකිය යුතු ලෙස අඩුවීමට සෘජුවම බලපෑම් එල්ල කොට ඇත. ශ්‍රී ලංකාවේ ඵලදායිතා මට්ටම අඩු වීමට හේතු ලෙස;
- අධ්‍යාපන ක්‍රමයේ ගුණාත්මක භාවය අඩුවීම
- යටිතල පහසුකම් සංවර්ධනයේ දුර්වලතා
- අල්ලස්, දූෂණ සහ වංචා වැඩිවීම්
- ක්‍රියා පටිපාටීන්ගේ අනවශ්‍ය සංකීර්ණත්වය
- බොහෝ ක්‍රියාවලීන් තවමත් හස්තීය ලේඛන ක්‍රමවේද (Manual Documentation Systems) ඔස්සේ ක්‍රියාත්මක වීම
දැක්විය හැකිය. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ලෝකයේ අසාර්ථකම අධ්‍යාපන ක්‍රමවේද 10න් එකකි. එසේම යටිතල පහසුකම් සංවර්ධන මට්ටම අනුව ලංකාවට හිමිවී ඇත්තේ 76 වන ස්ථානයයි.
ලෝක බැංකුවේ ව්‍යාපාර කටයුතු පහසු කිරීමේ දර්ශකය මගින් පෙන්නුම් කරන පරිදි ව්‍යාපාරික මෙහෙයුම් සම්බන්ධ ක්‍රියා පටිපාටි සහ ලියකියවිලි දිගු ප්‍රමාදයකට තුඩු දෙයි. ඒ අනුව ශ්‍රී ලංකාව සඳහා ශ්‍රේණිගත කිරීම රටවල් 199 ක් අතුරින් 99 වන ස්ථානයයි.
COVID-19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ සමස්ත සාධක ඵලදායිතාවයේ මට්ටම සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බැවින්, ඉහත සඳහන් ගැටළු විසඳීමෙන් එය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කිරීමට කඩිනම් පියවර ගත යුතුය.
කෘෂිකාර්මික ඵලදායිතාවය වැඩිදියුණු කිරීම
ආහාර නිෂ්පාදනයේ ස්වයංපෝෂිත භාවය ළඟා කර ගැනීම පිළිබඳව දැන් වැඩි අවධානයක් යොමුවී පවතී. සැබවින්ම අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගෙන් 90% ක් (සමස්ත ජනගහනයෙන් 80% ක් පමණ) දුප්පත් යැයි වාර්තා වන බැවින් ග්‍රාමීය ප්‍රජාවන්ගේ ඉපැයීම් වැඩිදියුණු කිරීමයි. සහල්වල ස්වයංපෝෂිත භාවය ලබා ගැනීම හුදෙක්ම ගොවීන් සමෘද්ධිමත් වීම නොවන බව වටහා ගත යුතුය.
මෙහි ඇති සත්‍යම ගැටළුව නම් ඉහල ඵලදායිතාවයක් ලඟා කරගැනීමට සහ ගොවීන්ගේ අදායම් තත්ත්වය ඉහල නංවාලීමට මෙම ගොවි ඒකක ප්‍රමාණවත් නොවීමයි. 2002 කෘෂිකාර්මික සංගණනයට අනුව, මිලියන 3.3 ක මුළු කෘෂිකාර්මික භූමි ප්‍රමාණයෙන් 45% ක් පමණ අක්කර 1/4 ක් පමණ වේ. මේ අතරින් බොහෝ ඉඩම් එම ගොවීන්ට පූර්ණව අයත් නොවන අතර පැරණි ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බදු අයිතිය පමණක් පවතියි. මේ හේතුවෙන්ද ක්‍රියාවලීන් ප්‍රමාදවීම මෙන්ම අක්‍රමිකතා ඉහල යාමද සිදුවේ. ඉඩම්වල ප්‍රමාණය ගැන සැලකිලිමත් වන විට විසඳුම වන්නේ රජය විසින් මෙහෙයවනු ලබන ඉඩම් ප්‍රතිසංස්කරණයක් සිදු කරමින් ඒකකවල හිමිකාරිත්වය එම ගොවීන්ට ලබා දෙන අතරම එය වැඩි දියුණු කිරීමයි. ගොවීන්ගේ ආදායම සැලකිය යුතු ලෙස ඉහළ නැංවිය හැක්කේ ආහාර නිෂ්පාදනය වැඩි කරන අතරම අතීතයේ දී මෙන් අත්පත්‍රිකා ලබා දීමෙන් නොව, ශ්‍රී ලංකාවේ ඉඩම් ප්‍රතිසංස්කරණයක් සිදු කිරීමෙන් පසුවම පමණි.
සාරාංශය
COVID-19 සැබවින්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැඩි හානියක් සිදු කර ඇති අතර සැපයුම් දාම කඩාකප්පල් කරමින් විරැකියාව ඇති කරන අතරම දරිද්‍රතා මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ නංවා තිබේ. දැඩි ලෙස පීඩාවට පත් ජනතාවට ක්ෂණික සහනයක් ලබා දීම සඳහා කෙටිකාලීන සැලැස්මක් සකස් කළ යුතුය.
මෙම සැලසුම් වල මූලික පරමාර්ථය විය යුත්තේ වසංගතය නිසා ඇති වන ඉහළ මට්ටමේ දරිද්‍රතාවය සහ ආදායමේ අසමානතාවය අඩු කිරීම මෙන්ම අපනයන ඉපැයීම් පුළුල් කිරීම, විශේෂයෙන් ඩොලර් බිලියන 60 ක් පමණ වන විශාල විදේශ ණය බරින් මිදීම සඳහා ය. දේශීය ඉතිරිකිරීම් / ආයෝජන ප්‍රමාණවත් නොවීම නිසා හොඳ නමක් ඇති විදේශ සෘජු ආයෝජන විශාල වශයෙන් ආකර්ෂණය කර ගැනීම සැලැස්මේ ප්‍රධාන උපාය මාර්ගය විය යුතුය. මෙම සැලසුම් වල මුලික අවශ්‍යතාවය වන රටේ ස්ථාවරත්වය, රටේ විවිධ වාර්ගික හා ආගමික කණ්ඩායම් එක්සත් කිරීම මගින් මෙන්ම දීර්ඝ කාලයක් තිස්සේ පැවති ජනවාර්ගික ගැටලුව විසඳීම සඳහා සියලු දේශපාලන පක්ෂ අතර එකඟතාවයකින් සාක්ෂාත් කරගත හැකිය.
රාජ්‍ය මූල්‍ය ස්ථායිතාව, විශේෂයෙන් ග්‍රාමීය කෘෂිකර්මාන්තයේ ඵලදායිතාව, රටේ ගෝලීය තරඟකාරිත්වය සහ අපගේ වටිනා ස්වාභාවික පරිසරය සුරැකීම සඳහා වැඩි දියුණු කිරීම මගින් Covid 19 වැනි ගෝලීය වසංගත තත්ත්වයක් හමුවේ වුවද ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත්ව නඟා සිටුවීමට මහෝපකාරී වනු ඇත.
The post Covid 19 වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ආරක්‍ෂා කල හැක්කේ කෙසේද? appeared first on TechWire.
from RSSMix.com Mix ID 8321273 https://ift.tt/3dY3b61
Comments
Post a Comment